Saturday, July 26, 2014

යදම් සහ පවුරු


මම පොඩි කලේ ඉදලම දැනගෙන හිටපු දෙයක් තමයි ජාතිය, ආගම එතකොට දේශපාලනය ගැන වාද විවාද කරන්න යාම හොද දෙයක් නෙමෙයි කියලා. නමුත් අද වෙන තුරු මට බැරි උනා ඒ දැනගෙන තිබුන දෙය ක්‍රියාවට නංවන්න.ඒ කියන්නේ ඒ  බහුබූත දේවල් ගැන තමන්ට හිතෙන දේ ගැන කතා නොකර ඉන්න. මම හිතන්නේ ඒ මාතෘකා අපේ ජීවිතයට හරිම සංවේදීයි.ඉතින් සංවේදී දෙයක් ගැන නොදොඩා ඉන්නේ කොහොමද?

මට මේ ලගදී මේ ගැන හොදටම වැදුනා ඒ කියන්නේ මම මගේ හොදම යාලුවෙක් එක්ක ආගම ගැන තර්කයකට පැටලුනා. නමුත් මට ඊට පස්සේ තමයි තේරුනේ මම කරගත්තේ අමුම අමු මෝඩ කමක් කියලා. මොකද එයා මාත් එක්ක කතා කිරීම පවා ටික වෙලාවකට නැවැත්තුවා ඒ හින්දා.මට ඒ නිසා මේ ගැන ටිකක් ගැඹුරින් හිතන්න සිද්ධ උනා.

ඒ නිසා මට සිද්ධ උනා මගේ අතීතයට ටිකක් යන්න. ඒ කියන්නේ මා මේ ලෝකෙට බිහිවීම, මගේ දෙමව්පියෝ,අපේ ගෙදර, ගම , යාලුවෝ සහ සමාජය මේ ගැටලුවත් එක්ක සම්බන්ධ කර ගන්න.

මගේ පළමු ප්‍රශ්නය මම මටම ඉදිරිපත් කලා. ඇයි මම මගේ ආගම අදහන්නේ? මට ලැබුණු එකම උත්තරය උනේ, උබේ දෙමව්පියෝ මේ ආගමේ හින්දා. උබට සිදු උනා මේ ආගම වැළදගන්න.

මගේ දෙවැනි ප්‍රශ්නයද මම ඉදිරිපත් කලා. මට මගේ ජාතිය ලැබුනේ කොහොමද? උත්තර උනේ උබේ දෙමව්පියෝ මේ ජාතියේ  හින්දා.උබට සිදු උනා මේ ජාතිය වැළදගන්න.

මගේ තුන්වන සහ අවසාන ප්‍රශ්නය, මට මගේ දේශපාලන පක්ෂය ලැබුනේ ? ඒ උත්තරයත් ඉහත උත්තරත් අතර වෙනසක් තිබුනේ නැහැ. ඒ නිසා මම මගෙන් ප්‍රශ්න ඇසීම නතර කිරීම යහපත් බව තේරුම් ගත්තා.

මට හිතෙන්නේ අපි මොකකට හරි කොටුවෙලා ඉන්නේ කියලා.මොකක්ද කියලා  මටත් හරියටම තේරෙන්නේ නැහැ. ඒත්  මට එක දෙයක් නම් පැහැදිලියි. ඒ කියන්නේ අපේ නිදහස් චින්තනය කියන එක මොටවෙලා තියෙන්නේ ඒ කියන්නේ අපි ගිරව් වගේ තමයි අපිට කියපු දෙයක් එහෙමත් නැතිනම් උරුම වුන දෙයක් කරේ තියාගෙන යන්න පුරුදුවෙලා තියෙන්න.

අපිට උරුමවෙලා තියෙන දෙයින් පිට හිතන්න පුරුදුවෙලා නැහැ. ඒ වගේම වෙනස් අදහස් දරන අයව දකින්නෙත් හරියට පිස්සෝ වගේ. අපිට උරුමයෙන් ලැබිලා  තියෙන දෙයින් පිට හිතන්න කිසිම වෙලාවක පුරුදු වෙලා නැහැ. අපි පොඩි කාලේ ඉදලම හිතන්නේ අපේ සමීපතමයන් හිතන විදිහටයි. එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් වත් වෙනස්ව චින්තනය මෙහෙයවන අපිට අවශ්‍යතාවයක් ඇවිල්ලා නැහැ නේද? එහෙම නැතිනම් අපි ටිකක් වෙනස්ව හිතන හැම අවස්ථාවකම අපිට ලැබුනේ සරදම්ක් පමණයි.ඒ නිසා අපේ චුට්ටක් හරි තිබුන නිදහස් සිතුවිලි තිබිරිගෙහිම මියැදුනා. 

 ඒ වගේම අපි අනෙක් අයගේ තියෙන අලුතින් හිතන, වෙනස්ව හිතන හෝ නිදහස්ව හිතන ගතියට පන්නරයක් දෙන්න හිතුවේ නැහැ නේද? එහෙම අපි පොඩි හරි තල්ලුවක් දෙන්න පුරුදු උනොත් මේ ලංකාව මීට වඩා  හුගක් වෙනස්වෙයි කියලා මට නම් විශ්වාසයි.මොකද ශ්‍රී ලාංකිකයන් කියන්නේ ශ්‍රේෂ්ට ජාතියක්, උන්ට හොද දක්ෂතා තියෙනවා. අපේ කොල්ලා ලෝකේ හැම රටකම වගේ ඉන්නවා.ඒ වගේම හොද වැඩ්ඩෝ නැතිනම් හොද වැඩ කරුවෝ. ඒක සහතිකයි. එහෙම ජාතියක් වෙන අපේ හපන්කම් මොට වෙන්න බලපාන ප්‍රධානම සාධකය වෙලා  තියෙන්නේ මේ අපි කතා කරන මොලේ කුරුවල් කරගෙන තිබීමයි.

මට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ආගමික සාහිත්‍ය කියන දේ ගැන. මොකද මේ වෙද්දී අපේ ඒ සියලු ආගම් නිර්මාතෘ වරුන් විසින් ගොඩනගාගත් ධර්මය මේ මම කියන සාහිත්‍යයත් එක්ක වෙනස් වෙලා නැත්නම් විකෘත්ති වෙලා එහෙමත් නැතිනම් මේවා උවමනාවෙන්ම වෙනස් කරලා.

මට හරිම සුන්දර උදාහරණයක් හමුඋනා ඒ එකත් ආගමකට සම්බන්දයි. අයියෝ මල වදේ  කිසිම දෙයක් කරන්න බැහැනේ මේ තහනම් වචන නැතුව.එත් ඉතින් මේක කියන්නම වෙනවා.වෙන මොනවා කරන්නද? මේකෙන් කිසිම ආගමකට අපකීර්තියක් නොවේවා කියලා තමයි පටන් ගන්නේ.

සාහිත්‍ය  අනුව ජේසු තුමාගේ මරණය සිදුවීම,  'ජේසුස් අපගේ පව් වෙනුවෙන්  මියගිය' (Jesus died for our sins) බව පැවසෙනවා ඒ වගේම ජේසුස් මියගියේ අප වෙනුවෙන් බව කියනවා (Jesus died for us) නමුත් සත්‍ය වශයෙන් සිදුවී ඇත්තේ, ජේසුස් මියගියේ  අපගේ පව් හේතුවෙනුයි (Jesus died because of our sins) එනම් ජේසුස් මියගියේ අප නිසයි, අපි හින්දයි  (Jesus died because of us) එනම් ජේසු තුමාව ඒ තත්වයට පත් කරනු ලැබුවේ මිනිසුන් විසින් බවයි. 

එසේම බුද්ධධර්මයට අනුවද බුදුන් විසින් දේශනා කල සමහර දේ වෙනස් කිරීමද එසේම දේශනා නොකළ දේ සාහිත්‍යට එකතුවී තිබීමද දැකිය හැක. 

මම  මේ දේ කියා සිටියේ කිසිම ආගමකට අපකීර්තියක් ගෙනදීමට නොවේ සිදුවී තිබෙන දේ පිලිබදව ඔබට යම් අදහසක් ලබාදීමට  පමණයි. වැරදි යමක් ලියවී ඇතිනම් මට සමාවෙන්න නමුත් මට හැගෙන දේ තමයි මේක, සත්‍ය සාධාරණය තීරණය කිරීම ඔයාට බාරයි .

දේශපාලනය ගැන කතා කිරීම අපි වෙන දවසක කරමු මොකද ඒක ගැන කතා කරන්න හුගක් දේවල් තියෙනවා .

නිර්ණයය
අපි ජීවිතයේ සියලු දේ දෙස බැලිය යුත්තේ ඉතාත විවෘත  මනසකින් යුතුවය. අපේ සංස්කෘතිය විසින් අපිට ලබාදීමට උත්සාහ කරන දෙයට වැඩ යමක් අපේ සිතුවිලි රාමුවෙන් පිට ඇතිබව අප පසක් කරගතයුතු කාලය එලබී ඇත.අපේ සමාජයේ වටේටම තියෙන්නේ අපේ සිතුවිලි සීමා කරන යදම්  සහ පවුරුයි. ඒවා බිදගෙන යහපත් මනසින් ලෝකය දැකීමට ඔබට ඇරයුම්. 

මීට අමතරව ජීවිතයට ඉතාම වැදගත් වන කරුණු 10 ක් ගැන දැනගැනීම www.toptenreview.lk පිවිසෙන්න.

වෙනස්ව හිතමු, විවෘතව හිතමු, නිවැරදිව හිතමු  ජීවිතය ජය ගනිමු.

ඔබට ජය ශ්‍රී 

No comments:

Post a Comment